විශ්වසනීය පුද්ගල අනන්‍යතාව හැඳුනුම්පතයි
Hit Counter පැමිණි අමුත්තන්
 

මධ්‍යම පළාතට - පළාත් හැඳුනුම්පත් කාර්යාලයක්

 
 

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය නුවරඑළිය හාවාඑළියේ ලේඩි මැකලම් ඩ්‍රයිව්හිදී ඉදි කිරීමට කටයුතු සැලසුම් කර ඇත.


ඒ සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2019.07.15 වන දින පෙරවරු 9.05 ට යෙදී තිබූ සුබ මොහොතින් වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. සර්ව ආගමික කටයුතුවලින් අනතුරුව පිරිත් සජ්ජායනා මධ්‍යයේ මුල්ගල තැබීමත්, ඉන් අනතුරුව ගරු. නවීන් දිසානායක මැතිතුමාගේ සුරතින් සමරු පලකය නිරාවරණය කිරීමත් සිදු විය.


මෙම උත්සව අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු කේ. කේ. පියදාස මැතිතුමා (පා.ම.), නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු උපසභාපති ගරු එම්. තිලකරාජා මැතිතුමා (පා.ම.),  නුවරඑළිය නගරාධිපති නන්දනලාල් කරුණාරත්න මැතිතුමා , තලවාකැලේ නගරාධිපති අශෝක සේපාල මැතිතුමා මෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් පී.වියානි ගුණතිලක මැතිතුමා , දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මැතිතුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර මැතිතුමා, ප්‍රාදේශීය ලේකම් ඩබ්.එම්. ආනන්ද මැතිතුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රදීපිකා වීරසූරිය මැතිනිය ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වූහ.

වසරේ සිට අඩසියවසකට ආසන්න කාලයක් අගනුවර කේන්ද්‍රීයව පවත්වා ගෙන ගිය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් පළාත් කාර්යාල හා ප්‍රාදේශීය කාර්යාල ඔස්සේ විමධ්‍යගත කර (decentralization)ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කරන ඕනෑම පුරවැසියෙකුට ඉතාමත් කෙටි හා නිශ්චිත කාල සීමාවකදී ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම  දෙපාර්තමේන්තුවේ අරමුණයි .

ඒ අනුව, විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ඉදිරි පියවරක් වශයෙන් මේ වන විට පිහිටුවා ඇති පළාත් කාර්යාල මෙන්ම සියලුම ප්‍රාදේශීය ශාඛා කාර්යාල ද VPN තාක්ෂණය ඔස්සේ  ප්‍රධාන කාර්යාලයේ දත්ත පද්ධතිය සමඟ මාර්ගගතව (Online) සම්බන්ධ කර ඇත. එමෙන්ම මේ වන විටත්  දිවයින පුරා ලියාපදිංචි කරන ලද ඡායාරූපශාලා මඟින් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ ( International Civil Aviation Organization - ICAO)  ප්‍රමිතීන්ට අනුකූල ඡායාරූප මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දෙපාර්තමේන්තු දත්ත පද්ධතියට ලබා ගනිමින්, නව තාක්ෂණය සමඟ මුසු වූ සුහුරු හැඳුනුම්පත (Smart Identity Card) නිකුත් කිරීමට ද දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

 
     


මෙම වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කර මහජනතාවට වඩාත් පහසුවක් සලසාලමින් හදිසි අවශ්‍යතාවන් සඳහා එක්දින සේවයෙන් හැඳුනුම්පත් ලබා ගැනීමේ පහසුකම ද මේ වන විට ස්ථාපිත කර ඇති පළාත් කාර්යාලවලට ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර මෙම වසර අවසාන වීමට ප්‍රථමයෙන් එය ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කරනු ලබයි.


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් විමධ්‍යගත කිරීමේ මෙම වැඩසටහන යටතේ වයඹ පළාත් කාර්යාලය කුරුණෑගල ද , නැගෙනහිර පළාත් කාර්යාලය මඩකලපුවේ ද , උතුරු පළාත් කාර්යාලය වවුනියාවේ ද පිහිටුවා මේ වන විට ඉතා සාර්ථකව මහජන සේවාවන් සපයමින් සිටින අතර ගාල්ලේ ඉදි කළ දකුණු පළාත් කාර්යාලය ද නුදුරේදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. එමෙන්ම මෙලෙස ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන මධ්‍යම පළාත් කාර්යාලය ද 2020 වසර අවසානය වන විට නිම කර ජනතා අයිතියට පත් කිරීමටත්, එමඟින් මධ්‍යම පළාතේ මහජනතාවට ද ඉතා පහසුවෙන් තම ඉල්ලුම්පත් භාරදීම, හැඳුනුම්පත ලබා ගැනීම සඳහා යොමු කරන ලද ඉල්ලුම්පත් පිළිබඳ විමසීම මෙන්ම ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් මතු වන විවිධ ගැටලු විසඳා ගැනීම යනාදී සේවා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට හැකි වනු ඇත.